"ලා පාට පිණිවැටුනු නියර දිගේ උදේ පාන්දරම සරමත් කැහැපට ගහගෙන කඩපිලට
ගියේ කිරි බෝතල් ටික දීල එන්න...දෙණිය ගාවදි ඈතින් එන තිලකෙ මල්ලි දැකලා
මං නියරෙ අයිනට වුනේ මල්ලිට යන්න ඉඩ දීල...
"ආ...සුදු අයියා..අද මොකද උදේම...කිරි ගෙනියනවද...? එහෙම අහපු තිලකෙ මල්ලි
නැවතුනා...
"අන්න නිර්මලා අක්කලා ආයෙත් ගමට ඇවිදින්..ඊයෙ උදේ ඇවිත් තියෙන්නෙ..මට දැන්
කඩ පිලේදි මුණ ගැහුනා අක්කව...
මල්ලි එහෙම කියද්දි මට අදහගන්නත් බැරි උනා...මල්ලිට තේරුනා මගෙ ඇස්වල තිබුනු
වෙනස...
නිර්මලා කියන්නෙ මං ආදරේ කරපු කෙනා...මීට අවුරුද්දකට විතර කලින් අපෙ සම්බන්දෙ
එයාලගෙ ගෙදරට ආරංචි වෙලා ඒකට එයාලගෙ ගෙදරින් විරුද්ද වුනා...එයාව එයාලගෙ
කොළඹ බාප්පලාගෙ ගෙදර නැවැත්තුවා....මම මොනවත් කරකියා ගන්න බැරිව ඔහේ
උන්නා..මොකද නිර්මලාගෙ ගෙදරට වඩා අපි හුගක් දුප්පත් නිසා...
මං මල්ලිට යන්නම් කියල කල්පනා කර කර කඩමණ්ඩිය පැත්තට යන්නට ගියා...මං කඩේ
ගාවට යද්දි නිර්මලා පත්තරෙත් අරන් කඩෙන් එලියට ආවා..මං දැකලද කොහෙදෝ
එතනම ගල්ගැහිල මා දිහාම බලාගෙන උන්නා..මගෙ ඇස් දෙකේ කදුළු බිංදුවක්
පහලට යනව වගේ මට තේරුනා....නිර්මලාත් අතින් කට වහගෙන අදහ ගන්න බැරිවෙලා
මගෙ ඉස්සරහින් දොල පාරෙන් ඉක්මන් ගමනින් ගියා...
මං තාමත් එයා යන දිහා බලාගෙන...
"කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනේ
නැවතී බලනවා මොහොතක් කොහොමහරි
කතා නැතිව සිටියත් ගොළුවෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරිව වැසී...."
කඩේට කිරි එක දීල මං ආපහු දෙනිය පැත්තට ගියේ දැන්ම ගෙදර යෑමට හිතක් නොදුන්
නිසාවෙනි...දෙණියට නිර්මලාගෙ නිවස හොදට පෙනේ...මා ඒ දිනවල සවස නිර්මලා
හොරෙන් එනතුරු දෙනියට වී බලාසිටියෙමි...ඇයත් ගෙදරට හොරා මා බැලීමට
පැමිණියාය..මා දෙනියේ තිබූ සුවිශාල කුඹුක් ගහ සමීපයට ගොස් එහි පසෙක හිද ගෙන
කල්පනා කරන්නට ගති..
දිනක් මා සවසක ඇයව බැලීමට පැමිණි විටෙක ඇගේ ලොකු තාත්තා අප දෙදෙනා දැක
එය හොරෙන්ම ඇගේ පියාට කියා තිබිනි...එදා පටන් ඇය ගැන හොයා බලන්න ඇගේ
නිවසේ උදවිය උත්සුක විය..අප අන්තිමට මුණ ගැසීමට පැමිණි දිනයේ ඇගේ පියාට අප
අසුවිණි...එදා ඇයව නිවසට ගෙනගොස් එදා සවසම ඇයව කොළබ මාමලාගේ නිවසේ
නතර කරවීය....
"ගහකොල වලට දාහක් ඇස් ඇති හින්දා
සුළගට සියුම් දාහක් කණ් ඇති හන්දා
කවදාවත් නුඹ මට නොලැබෙන හින්දා
මුණිවත හොදයි දෙබසින් දුක වැඩි හින්දා...."
අපේ දුප්පත්කමට බැනල වැඩක් නැහැ..මොනව කියල
නම් කරන්නද...තව ටික දවසකින් නිර්මලා පිට ගමකින් කව්රු හරි ඇවිත් එක්කන් යයි...
මං තනිවේවි..එයාලගෙ ගෙදරින් මට කවදාවත් කැමති නොවන හේතුව ඒකම වෙන්නැති.
හැමදාමත් මේ දුප්පත්කම අපට තියේ කියල හිතන එයාලගෙ ගෙදර උදවිය මට කවදාවත්
කැමති නොවන බව මං හොදටම දන්නවා..ඈතින් ඉගිලෙන කුරුළු රෑන් අතරෙ එක
තනිවෙච්ච කුරුල්ලෙක් පියාඹනවා..ඒ මං වෙන්නැති කියල මට හිතුනා..
"සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මොටද සිතුසේ දැක ගන්න බැරි
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරී..."
මං එහෙම කල්පනා කර කර නැගිට්ටෙ අමාරුවෙන් හරි හිත හදාගෙන ඉස්සරහට ජීවත්
වෙනව කියල හිතාගෙන...
- ස ජී -
(ස ජි ත් ම දු රං ග)
No comments:
Post a Comment