Thursday, June 12, 2014

" අම්මගෙ නම මම පපුවෙ කොටනවා - ඉදිකටු මිටියෙන් හැඩට ඇතී..."

                        "බිදෙන් බිද වැටෙන වැහි පොද දිහා බලාගෙන මන් කල්පනා කරේ යකඩ කූරු වලට ඔළුව ගහගෙනමයි..පපුවෙ ඇවිලෙන ගින්දර මැදින් මට මතක උනේ මගෙ අහිංසක අම්මවයි..අම්මා දැන් මොනව කරනව ඇතිද..කොච්චරක් නම් මන් ගැන හිතල් දුක් වෙනවා ඇතිද කියල මතක් වෙද්දි මගෙ පපුව හෝස් ගාල පිච්චිලා යනවා..

                          අහස උසට තියෙන කම්බි තාප්ප මැද්දෙ මන් හිරවෙලා..දවස ගානෙම ගෙවෙන හැම මොහොතක් ගානෙම මැරි මැරී උපදින මගෙ ජීවිතේ දැන් ගෙවෙන්නෙ මේ කම්බි කූරු මැද්දෙ උනේ කොහොමද කියල මන් දන්නවා..අම්මාගෙ වචන ටික හොදින් ඇහුවනම් මට කවදාවත් මෙහෙම වෙන්නෙ නෑ කියල මට දැන් හිතෙනවා මගෙ අම්මෙ..ඒත් මගෙ කරුමෙට මට අම්මට වඩා මගෙ පව්කාර යාළුවො ටික ලොකු උනා..

                        දවස තිස්සෙම වැඩ කරල පෝලිමට තැටියත් අරන් දියලුණු බත් එක කන්න යද්දි මට හැමදාම මතක් වෙන්නෙ අම්මගෙ බත් එක...අම්මගෙ අතින් උයල අම්මගෙ අතින් කවපු ඒ බත් ටික අදටත් මතක් වෙද්දි ඇහේ කෙළවර කදුළු මතුවෙන්නෙ මටවත් නොදැනීමයි...

                         ඈතින් ඇහෙන නුවර පන්සලේ ගණ්ඨර සද්දෙට කණ තියාගෙන මන් හැමදාම රෑට අත්දෙක එකතු කරල බුදුන් වදින්නෙ ඉක්මණට මේ කම්බි කූරු අස්සෙන් අම්මා ගාවට එන්න ලැබෙන්න කියලයි අම්මේ..අම්මගෙ පරණ චීත්ත කෑල්ලට ඔළුව තියාගෙන නිදාගද්දි මට දැනෙන්නෙ මගෙ අම්මා මන් ගාවම ඉන්නව කියලයි..අම්මගෙ උණුහුමට ගුලිවෙලා නිදාගත්ත මන් අද අම්මගෙ චීත්ත කෑල්ලකට ඔලුව තියාගෙන කොන්ක්‍රීට් බංකුවක් උඩ නිදාගන්නවා..ඒ හැම මොහොතකම අම්මගෙ උනුහුම මට දැනෙනවා අම්මේ..

                       මෙහෙ ඉන්න සේරම අය තමන් ගැනම පසුතැවි තැවී හිතෙන් දුක් විදිනවා..දැන් සේරම දුප්පත් පෝසත් කියල බේදයක් නැතිව එකට හිරබත් කද්දි හිතට දැනෙන්නෙ පුදුම තරම් අසරණ කමක් අම්මෙ..රජවරු සිටුවරු හැමදෙනාම තමන්ගෙ වැරදි වලට මෙහෙ ඇවිත් පසු තැවෙනවා අම්මෙ..

                      මන් කවදාහරි මෙහෙන් නිදහස් වෙලා ආව දවසට අම්මවත් එක්කන් නුවර මාළිගාවට එනවා..ඒ ඇවිත් ලොකු නෙළුම් මල් වට්ටියක් අම්මගෙ අත් දෙකින් පූජා කරල මගෙ අම්මට පින් දෙනවා...මගෙ මේ පපුවෙ ඇවිලෙන ගින්දර මැකෙන්න මන් එදාට අම්මගෙ නම පපුවෙ කොටනවා..එදාට මන් ආඩම්බරෙන් අම්මට තුරුල් වෙලා ඉන්නවා මගෙ අම්මෙ..ඔව් මගෙ රත්තරන් අම්මට තුරුළු වෙලා

හැමදාම ඉන්නවා අම්මෙ...
 
"කම්බි තාප්පෙට හිරකරගෙන මා
අහස දිහා බලමින් අම්මේ
මන් කල වරද කියාපන් උඹවත්
හුළග දිගේ ඇවිදින් අම්මේ...
මළහිරු බැස යනවිට නිල් අහසේ
නුවර පන්සලෙ හඩ අම්මේ
තැටිය අරන් පෝලිමට දුවනවා
වදින්නෙ මහ රෑටයි අම්මේ...


පරණ චීත්තෙට ඔළුව තියාගෙන
පන් පැදුරේ සුව පහස ලැබී
පුංචි කාලෙ ඉදලම දුක් වින්දා
කොස් ඇට වල රහ හොදට දැනී...
අම්මට තනියම නුවර එන්න බෑ
බෝගම්බර මහ සයුර වැනී
අම්මගෙ නම මම පපුවෙ කොටනවා
ඉදිකටු මිටියෙන් හැඩට ඇතී...


වාට්ටුවේ අය එකා වගේමයි
පසු තැවි තැවි තනියම හඩලා
රජසිටු මැතිවරු ලෝකෙ දකින්නේ
මෙතන ඇවිල්ලයි දුක දැකලා...
තනිපංගලමේ මහ රෑ යාමේ
නුඹ හඩනා හැටි මට මැවිලා
කම්බි කූරු වල ඔළුව ගහනවා
පපුවේ ගින්දර මට දැනිලා...

-ස ජී-


No comments:

Post a Comment